අපගේ දැක්ම
“සඵලදායී සේවයක් තුලින් තිරසාර සංවර්ධනයක් “
අපගේ මෙහෙවර
“කොට්ඨාසයේ මහජන අභිමතාර්ථයන් ඉටු කිරීම සඳහා මානව හා භෞතික සම්පත් මනාව කළමනාකරණය කිරීම තුලින් තිරසාර සංවර්ධනයේ කේන්රද්රීය රාජ්‍ය ආයතනය බවට පත්වීම ”
දළ විශ්ලේෂණය
- හැදින්වීම හා ඓතිහාසික පසුබිම
ශ්‍රී ලංකාවේ මධ්‍යය නිරූපණය කෙරෙන මාතලේ දිස්ත්‍රික්කයේ උතුරින් පිහිටි විශාලතම පරිපාලන ඒකකය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වේ. වර්ග කි.මි. 456.3කින් යුත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෝක පූජිත දායාදයක් වන සීගිරි පර්වතය හා දඹුලු ලෙන් විහාරය පිහිටිමෙන්ද ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන හුවමාරු වන ප්‍රධාන ඒකකයක් වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිහිටීමෙන්ද ලංකාවේ ප්‍රමුඛතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත්ව ඇත.
දඹුල්ල යන නම නිර්මාණය පිළිබදව ද විවිධ මත පවතී. දඹ යනු ගලට තවත් නමක් වන අතර උල්ල යන්නෙන් උල්පත හැදින්වේ. මේ අනුව ගලෙන් වෑහෙන උල්පත අරුත ඇතිව දඹ-උල්ල ලෙස හැදින් වී පසුව එය ව්‍යවහාරයෙන් දඹුල්ල වු බව ප්‍රචලිතම මතයයි.
දඹුල්ල ප්‍රදේශයේ ඉතිහාසය සැලකිල්ලට ගැනීමේදී ප්රාග් ඓතිහාසික යුගයේ දීයක්ෂ ගෝත්‍රිකයින් ගේ වාසභූමියක් ව පැවැති බවට සාක්ෂි ඇත. දඹුලුගල පාමුල ඉබ්බන්කටුව ප්‍රදේශයේ දී වසර 3000 කට පැරැණි මෘත දේහයක් හා තඹ රන් කූරක් බහාලන ලද මැටි බදුනක් හමුවීමෙන් මෙම මතය තහවුරු වේ. මෙවැනි මැටි බදුන් ශ්‍රී ලංකාවේ තවත් ප්‍රදේශ කීපයකින් ම හමුවී ඇති අතර මේවා ගෝත්‍ර නායකයින්ගේ සොහොන් ලෙස පුරාවිද්‍යාඥයින් විසින් හදුන්වයි. ඇඹුල්අඹේ ප්‍රදේශයෙන් හමු වූ සෙල් ලිපියකට අනුව කි.පූ. 1 වන සියවසදී පමණ මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බවටත්,“රජ’’යන අභිධානයෙන් හදුන්වන ලද පුද්ගලයකු ප්‍රදේශය පාලනය කල බවත් එහි සදහන් වේ.
මහා වංශයේ දඹුල්ල සදහන් වන්නේ ’ජමිබු කොළයනුවෙනි. නමුත් මේ පිළිබද මුල් වරට සාක්ෂියක් හමු වන්නේ පොළොන්නරු යුගයේ විජයබාහු පාලන සමයේදීය කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු දඹුල්ලේ පිහිට වු සෙල් ලිපියක දඹුලු ලෙන ’ස්වර්ණ ගිරි ගුහාලෙස දක්වා ඇත ක්‍රි.ව.පළමු සියවසේ රජ කළ වට්ට ගාමිණී අභය හෙවත් වලගම්බා රජු විසින් එය කරවු බව ජනප්රවාදයේ සදහන් වේ. පූජාවලියට අනුව රජු ද්‍රවිඩ ආක්‍රමණයන්ගෙන් පැරදී සැගවි සිටියදි මෙම ලෙන් විහාර කරවා ඇත.
පණ්ඩුකාභය කුමරා අනුරාධපුර රාජධානිය පිහිටුවාගත් පසු ඔහුගේ මයිලනුවන්ගෙන් අයෙකු වූ ගිරිඛණ්ඩෂිව ට මාතුල ජනපදයේ පාලනය බාරදුන් අතර, දඹුල්ල ප්‍රදේශය අයත් වූයේ මෙම ජනපදයටය. ආර්යය ජනයාගෙන් ක්‍රම ක්‍රමයෙන් දඹුල්ල ප්‍රදේශය ජනාවාස වූ අතර අනුරාධපුර රාජධානියට ආසන්න ප්‍රදේශයක් වූ බැවින් උසස් ජන දිවියක් මෙම ප්‍රදේශයේ පැවතුනු බවට වර්තමානයේ දක්නට ලැඛෙන නටඹුන් වලින් පැහැදිලි වේ.
ලක්දිව බුදු දහම ලැබීමත් සමග බෞද්ධ ජීවන මාර්ගයකට නැඹුරු වූ ජනයා බොහෝ ගිරිලෙන්වල දැකුම්කලු පිලිම ගෙවල් හා විහාර කර්මාන්ත කරවා වත්පිලිවෙත් කරවන ලදි. එඩේරගල, පිදුරංගල, සීගිරිය වැනි ලෙන් විහාරවල අද ද මෙම ශ්‍රී විභූතිය මනාව පිළිඹිබු වේ. එසේම සෙල්ලිපි රාශියක් ද ප්‍රදේශය විසිරී ඇති අතර,ක්‍රි.පූ. 2 වන සිවසට අයත් බ්රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපි කිහිපයක් දඹුල්ල සීගිරිය හා පිදුරංගල අවට ප්‍රදේශ වලින් සොයාගෙන ඇත. මීට අමතරව ඇතාබැදිවැව, දඹුල්ල, දිගමිපතහ, සීගිරිය, පිදුරංගල ආදී ප්‍රදේශ ආශ්‍රිතව ලෙන් ලිපි කිහිපයක් ද දැකගත හැක. තවද මැණික්දෙන නැමැති ස්ථානයේ ඇති පුරාවස්තු ප්‍රදේශයට මහත් අභිමානයක් ගෙන දෙයි.
සිය පියා මරා රාජ්‍ය බලය ලබාගත් 1 වන කාශ්‍යප කුමරා අනුරාධපුරය තම රාජධානිය කර ගැනීම මගින් තමාගේ ආරක්ෂාව කෙරෙහි බලපෑම් ඇතිවිය හැකි බව වටහාගත් ඔහු තම අගනගරය ලෙස සීගිරිය තෝරාගත් අතර, ක්‍රි.ව. 479 සිට 497 දක්වා ඔහුගේ පාලන සමය දඹුල්ලේ මෙන්ම මාතලේ ඉතිහාසයේද ස්වර්ණමය අකුරින් ලියවුණු කාලපරිච්ඡේදයකි. එතෙක් කලක් විහාරයක්ව පැවැති සීගිරිය මහානාර්ග අගනුවරක් බවට පත්කරවීමේ ගෞරවය 1 වන කාශ්‍යප රජුට හිමවේ. එම අගනුවර සිය ආරක්ෂාව සලසා ගැනීම පිණිස ප්රතාපවත් බලකොටුවක් කරවූ හෙතෙම ඊට කලාත්මක හා සාහිත්‍යමය වටිනාකමක් එක්කරමින් නිමකල සීගිරි බිතු සිතුවම් හා කුරුටු ගී අද ද සුරැකිව පවතී. එමෙන්ම සීගිරි නිර®මාණ ආශ්‍රිතව ජලප්‍රවාහන පද්ධතිය නූතන ඉංජිනේරු තාක්ෂණයට අභියෝගයක් ව පවතී.
දෙවන ගජබා රජ දවස දඹුල්ල අයත් වූයේ රජරට රාජධානියටය. පරාක්‍රමබාහු කුමරා ප්‍රථම වරට ගජබා රජුගේ යුධ ශක්තිය පිළිබදව එතුමාගේ සේනාධිපතියකු සමග රහසේ කුමන්ත්‍රණයක් කලේ මැණික්දෙන දී ය. පසු කාලයේ දී ගජබා රජු පරාජය කොට රට එක්සේසත් කිරිමට පරාක්‍රමබාහු රජු සමත් විය.
පරාක්‍රමබාහු රජ සමයේදී රාමඤ්ඤ දේශය යටත්කර ගැනීමේ සටන මෙහෙයවූ සෙන්පතිවරු දෙදෙනාගෙන් කෙනෙකු වූ කීර්ති නගරසිරිගේ නිජබිම ඇරෑවුල අසල දෙවනගල නුවරගල ප්රදේශයයි. ඔහුගේ මෙම දක්ෂතාව ඇගයීම කරනු වස් පරාක්‍රමබාහු රජු විසින් සැකසූ ප්‍රසාද සෙල් ලිපියක් මෙම ප්‍රදේශයෙන් හමුවී ඇත. ඇරෑවුල අසල පිහිටි මෙම කදුගැටයේ අද ද පොලොන්නරු යුගයට අයත් ගොඩනැගිලි රාශියක නටුඹුන් විසිරී පවතී. මෙම පුවත චූල වංශයේ ද සදහන් වේ.
පළමු වන විජයබාහු රජතුමාගේ සොලී විරෝධී සටනේ පෙරමුණ ගත් එක් සේනාවක් මැණික්දෙන හරහා ගමන්ගත් අතර, ඔවුන්ගේ තාවකාලික නවාතැනක් ලෙස මෙම ස්ථානය යොදාගත් බවද ඉතිහාසය පෙන්වා දෙයි. දෙවන විජයබා රජුගෙන් පසු රාජ්‍ය බලයට පත් කීර්ති නිශ්ශංක කුමාර දඹුලු ලෙන් විහාරයේ රන්පත් ගල්වා අලංකාර කොට තම පිලිරුවක් ද එහි ස්ථාපිත කරන ලදි. මෙතැන් සිට දඹුලු විහාරය රංගිරි දඹුලු විහාරයලෙස හැදින්වූ බව කියවේ.
මෙම කාලයේ සිට මහනුවර යුගයේ දෙවන රාජසිංහ යුගය දක්වා කාලය තුල දඹුල්ල ප්‍රදේශය පිලිබද සදහනක් ඉතිහාසයේ සදහන්ව නැති අතර, එම යුගයේ දී ප්‍රාදේශික රජවරුන් විසින් මෙම ප්‍රදේශය පාලනය කල බව සැලකිය හැක.
යටත් විජිත පාලන යුගයේ දී දඹුල්ල ප්‍රධාන මංසන්ධි ජනාවාසයන් ලෙස පැවතුණි. මීට ප්‍රධාන හේතුවක් වන්නේ ත්‍රිකුණාමල වරායත් මහනුවරත් සම්බන්ධ කෙරෙන මාර්ගය දඹුල්ල ඔස්සේ පැවතීමයි. 1848 දී ඉංග්‍රීසින්ට එරෙහිව දියත් කෙරුනු දෙවන කැරැල්ලට නායකත්වය සපයන ලද්දේ දඹුල්ල ප්රදේශයයි. මෙම කැරැල්ල මෙහෙයවීමට මූලික වූ ගොංගාලේ ගොඩබංඩා 1848.07.20 වන දින දඹුලු විහාරයේ දී රාජාභිෂේක කරන ලදි.
අනතුරුව ඔහු හා වීරපුරන්අප්පු ප්රමුඛ පිරිස කැරැල්ල දියත් කල නමුත් එය අසාර්ථක වූ අතර, නායකයන් ඉංග්‍රීසීන් විසින් ජීවිතක්ෂයට පත්කරන ලදි. මෙම කැරැල්ලේ සියලුම සේනා සංවිධානය සිදුකරන ලද්දේ දඹුල්ල ප්‍රදේශයේ දී ය.
දඹුල්ල ප්‍රදේශය මංමාවත් ඉතිහාසය සැලකීමේ දී 1831 දී මාතලේ දඹුල්ල මාර්ගය විධිමත් ව සකසන ලද අතර 1905 දී පමණ තාර දැමීම සිදුවිය. 1830 දී දඹුල්ල ඔස්සේ කුරුණෑගලත් ත්‍රිකුණාමලයත් සම්බන්ධ කෙරෙන ප්‍රධාන මාර්ගය සකස්විය.
දඹුල්ල සංචාරකයින් ඇද බැද ගන්නා ඉතා ආකර්ෂණිය මෙන්ම ඓතිහාසික වැදගත්කමකින් යුතු ප්‍රදේශ ගණනාවකින් සමන්විත වු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකි. ලෝක උරුමයක් මෙන්ම ලෝකයේ 08 වන පුදුමය ලෙසද සලකන සීගිරි ගල එයින් ප්‍රධාන වන අතර මීට අමතරව තවත් ආගමික හා ඓතිහාසික වැදගත් කමකින් යුතු ප්‍රදේශ සහ වැව් පොකුණු බොහෝ සංඛ්‍යාවක් පිහිටීම නිසා දඹුල්ල වසරේ සෑම කාලයකම දේශීය විදේශීය සංචාරකයින් නිතර ගැවසෙන ප්‍රදේශයක් බවට පත්වී ඇත.
- පිහිටීම
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් පලාගල හා කැකිරාව ද,නැගෙනහිරෙන් හිගුරක්ගොඩ හා ඇළහැර ද,දකුණින් නාවුල ද,බටහිරින් ගලේවෙලද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සීමා වී ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඹේපුස්ස ත්‍රිකුණාමලය A 006 මාර්ගයේ දඹුල්ල නගරයට කි.මි.1.5 කුරුණෑගල දෙසට වන්නට පිහිටා ඇත.
- ගමන් මාර්ගය
කොළඹ සිට පැමිණෙන විට කි.මී. 150 ක දුරකින්, දඹුල්ල නගරයට කි.මි. 1.5ක් මෙපිටින් පිහිටි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාතලේ සිට A 009 මාර්ගයේ පැමිණෙන විට කි.මි. 148 ක දුරින් පිහිටා ඇත.
- අක්ෂාංශ හා දේශාංෂගත පිහිටීම
උතුරු අක්ෂාංශ 7º 44' හා 8º 2'අතර
නැගෙනහිර දේශාංශ 80º 35'හා 80º 52' අතර
- සාමාන්‍ය උෂ්ණත්වය
උෂ්නත්වය සෙල්සියස් අංශක 25 – 26 අතර
ෆැරන්හයිටි අංශක 80 - 82 අතර
ශ්‍රී ලංකාව තුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීම

ආයතනයේ විකාශනය
ප්‍රාදේශීය පාලනය
දඹුල්ල රාජමන්ත්රන සභාවෙන් පාර්ලිමේන්තු අසුනට ගමන් කිරීම
1937 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මාතලේ අසුනට අයත් වූ දඹුල්ල 1947 දී දඹුල්ල පාර්ලිමේන්තු අසුනට අයත් විය. එතැන් පටන් මේ දක්වා දඹුල්ල එම පාර්ලිමේන්තු අසුනට අයත් වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 ක් මෙම අසුන නියෝජනය කරයි.
එදා සහ අද
බ්‍රිතාන්‍ය පාලනය
මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු කෙලවරින් පිහිටි ප්‍රදේශයක් උවත් , බ්‍රිතාන්‍ය පාලනයට නතුව පැවති කාලයේදී දඹුල්ල අයත් වූයේ කන්ද උඩරට රාජධානියටය. 1815 දී බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ අතර මහනුවර කච්චේරියෙන් පාලනය විය.
මහනුවර උප දිසාපති යටතේ
1819 දී මහනුවර කච්චේරියෙන් පාලනය වන උප දිසාවක් වශයෙන් මාතලේ වෙන් වීමේදී දඹුල්ලද ඊට ඈදනු ලැබීය. 1955 දක්වාම මහනුවර දිසාපති යටතේ , මාතලේ උප දිසාපති යටතේ දඹුල්ල පාලනය විය.
මාතලේ දිස්ත්‍රික්කය වෙන් වීම
1955 දී වෙනම දිස්ත්‍රික්කයක් බවට මාතලේ වෙන් විය. ඒ අනුව 1955 දී මාතලේ දිසාපතිවරයාගේ පාලනය දඹුල්ලට අයත් විය.
ප්‍රාදේශීය ආදායම් නිළධාරී - මාතලේ
වෙනම දිස්ත්‍රික්කයක් පිහිටුවීමෙන් පසු මාතලේ ප්‍රධාන මුලෑදෑනි (ප්‍රාදේශීය ආදායම් නිළධාරී ) කොට්ඨාශ 03 කට වෙන්වූ අතර දඹුල්ල අයත් වූයේ මාතලේ උතුරු කොටසටය.
දඹුල්ල ප්‍රාදේශීය ආදායම් නිළධාරී
1963 දී මෙම කොටිඨාහ ගණන 10 දක්වා වැඩි වූ අතර දඹුල්ල සදහා වෙනම කොට්ටාශයක් බිහි විය.
ප්‍රාදේශීය උප දිසාපති පාලනය
1972 දී මෙම කොට්ටාශ නාමය ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශය වශයෙන් වෙනස් විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල බිහිවීම

පරිපාලන චක්‍රලේ ඛ අංක 21/92 යටතේ පරිපාලනය විමධ්‍යගත කිරිම හදුන්වා දී ඇත්තේ පරිපාලනය ජනතාව කරගෙන යාම වශයෙනි. මධ්‍යම රජයේ බලතල පලාත් සභාව දක්වා බෙදා හැරීම තව දුරටත් ඉදිරියට ගෙන ගොස් දිස්ත්‍රික් පලාත් හෝ ජාතික මට්ටමට නොපැමිණ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඔවුනට වඩාත් වග කියන ප්‍රාදේශීය ආයතනයකින් ඉටුකර ගැනීමට සැලැස්වීම එයින් අදහස් කෙරිනි. වෙනත් වචන වලින් කිවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව පලාත් සභාවට පවරන ලද ජන ජීවිතයට බලපාන බොහෝ විෂයයන් හා කාර්ය භාරයන්ද , කලින් දිසාපතිවරයා වි සින් ඉටු කරන ලද කාර්යයන්ද අංක 21/92 චක්‍රලේඛයේ 1 ඇමුණුම මගින් දක්වන ලද රේඛීය අමාත්‍යාංශය විසින් හදුන්වා දෙන ලද ඇතැම් නිශ්චිත විෂයයන් හා කාර්ය භාරයන්ද ඉටු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉටු කෙරේ.
ගම්මුලෑදෑනි ක්‍රමය අහෝසි විම
1963/05/01 දින එතෙක් පැවති ගම්මුලෑදෑනි ක්‍රමය අහෝසි වී ග්‍රාම නිළධාරී ක්‍රමය ආරම්භ වූ අතර, දඹුල්ල 1989 දී ග්‍රාම නිළධාරී කොට්ඨාශ 59 කින් යුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බවට පත් විය.
වර්තමාන දඹුල්ල ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය දඹුල්ල ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයට අයත් වේ. මෙමගින් පොදු සංවර්ධන කටයුතු මෙහෙයවයි.
සේවය කල ප්‍රාදේශීය ලේකම්වරුන්
සහකාර ආණ්ඩුවේ ඒජන්තවරු කාල සීමාව
|
විල්සන් එදිරිසිංහ මහතා |
1968 |
|
පී.ජී.එම්. ගුණතිලක මහතා |
1972 -1976 |
උපදිසාපතිවරු/සහකාර ආණ්ඩුවේ ඒජන්තවරු
|
සේවය කළ උපදිසාපතිවරු |
කාල සීමාව |
|
එස්.එම්.ඒ.එල්. ගුණතිලක මහතා |
1976/01/01-1978 මාර්තු |
|
යූ.ජි. දිසානායක මහතා |
1978 -1978 ජනවාරි |
|
විමලසේන මහතා |
1981 ජනවාරි - 1981 මැයි |
|
ආර්.ඒ.ඩී. හේමචන්ද්‍ර මහතා |
1981 මැයි - 1982 ජනවාරි |
|
පී.ඒ.ජී. ජයවර්ධන මහතා |
1982/01/15- 1990 දෙසැම්බර් |
|
කේ.ඒ.එස්. කීරගල මහතා |
1990/12/16-1992 දෙසැම්බර් |
ප්‍රාදේශීය ලේකම්වරු
|
සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු |
කාලසීමාව |
|
කේ.ඒ.එස්. කීරගල මහතා |
1992දෙසැම්බර් – 1993 ජනවාරි |
|
බී.ජී.එච්.එම්. සුගතදාස මහතා |
1993 ජනවාරි -1994 ඔක්තෝම්බර් |
|
ආර්.එම්.පී. රාජපක්ෂ මහතා |
1994 සැප්තැම්බර්- 1995 ජනවාරි |
|
කේ.ඩබ්ලිව් ගමගේ මහතා |
1995 ජනවාරි- 1996 පෙබරවාරි |
|
විජයරත්න සකලසූරිය මහතා |
1996 පෙබරවාරි - 1997 |
|
අනුර දිසානායක මහතා |
1997 – 1999 ඔක්කෝබර් |
|
පත්මජිනා සිරිවර්ධන මහත්මිය |
1999 – 2002 දෙසැම්බර් |
|
ආර්.එම්.සී.එම්. හේරත් මහත්මිය |
2002දෙසැම්බර්-2010 ඔක්තෝබර් |
|
බී.ඒ. සුමනදාස මහතා |
2010 ඔක්තෝබර් -2011 අගෝස්තු |
|
ඉරේෂා ලියනගම මහත්මිය |
2011 අගෝස්තු සිට 2011 නොවැම්බර් |
|
ඒච්.පී.පී.ඒ හේවාපතිරණ මහත්මිය |
2011 නොවැම්බර් සිට 2020 පෙබරවාරි |
|
පියල් ජයසූරිය මහතා |
2020 පෙබරවාරි සිට 2025 |
|
එන්.එම්. උපේක්ෂා කුමාරි මහත්මිය |
2025 පෙබරවාරි සිට මේ දක්වා |














